කැනඩාව කියන්නේ වාහන නිවාස වල ඉඳලා ඔයාලගේ ජිවිත වලටත් රක්ෂණයක් තියෙන එක අනිවාර්ය රටක්. ඒ අතරින් වාහන රක්ෂණ එහෙමත් නැත්නම් වෙහිකල් ඉන්ෂුරන්ස් එක ගැන පොඩි කරුණු ටිකක් තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ.
සමහර විට ඔබ දන්නව ඇති කැනඩාවේ වාහන වලට රක්ෂණය ලබා ගැනීමේදී එහි premium එක නැත්නම් වටිනාකම, කරුණු කිහිපයක් මත රඳා පවතින බව. ඒ,
- තෝරා ගන්නා රක්ෂණ ආවරණය ( type of coverage)
- අප තෝරා ගන්නා පහසුකම්, (benefits)
- වාහනයේ වටිනාකම, වර්ගය (සමහර ප්‍රදේශ වලදි වර්ණය පවා)
- වාහනය පුද්ගලික පාවිච්චියටද , නැත්නම් වෙනත් කටයුතු සඳහා යොදා ගන්නේද කියන කරුණ (උදා- ටැක්ස් ලෙස , භාණ්ඩ ප්‍රවාහණයට)
- සාමාන්‍ය මාසයකට පැදවෙන කිලෝමීටර ගණන
- රියදුරු හෝ රියදුරන්ගේ බලපත්‍රය සම්බන්ධව ඇති තොරතුරු ( දඩ, වැරදි කරුවී ඇති තත්ත්ව, වැරදි සිදුවී නැත්ද වැනි)
- රියදුරු ගේ වයස/ (සමහර අවස්ථා වල ස්ත්‍රී පුරුෂභාවය)
- රියදුරු බලපත්‍රයේ වයස සහ මට්ටම./වර්ගය
- රියදුරු බලපත්‍රය අදාල පෝස්ටල් කෝඩ් එක සහ එම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාවේ දත්ත.( සංඛ්‍යාව. ස්වභාවය සහ වටිනාකම)
- අදාල රක්ෂණය සමඟ සම්බන්ධ කළ හැකි වෙනත් ආවරණ (Bundle)
- තනි පුද්ගලික රක්ෂණයක්ද යම් සංවිධානයක සාමාජිකයෙක් ලෙස ලබා ගන්නා සාමාජික වරප්‍රසාද සහිත රක්ෂණයක්ද
- පළාත් රජය විසින් පිළිගත් පුහුණූ පාසලකින් රිය පැදවීම , විධිමත්ව හදාරා සහතිකයක් තිබේද
මෙන්න මේවගේ සාධක ගණනාවක් අදාල රක්ෂණ වාරිකයට බලපානවා. (සමහර විට මීට වඩා මට අමතක වූ කරුණු තිබෙන්නට පුළුවන්)
ඒ වගේම ලංකාවේ වාහන් රක්ෂණ වලට වඩා කැපී පේන වෙනස්කම් කිහිපයකුත් කැනඩාවේ වාහන රක්ෂණ වලදී දැකගන්න ලැබෙනවා
මාසෙන් මාසේ වාරික ගෙවීම
ලංකාවේ අපි සාමන්‍යයෙන් වාහනේ රක්ෂණය අවුරුද්කදට වතාවක් නේ ගෙවන්නේ. නමුත් කැනඩාවෙදි එය මාසික වාරිකයක් විදියට තමයි ගෙවන්නේ. ඒ හේතු දෙකක් නිසා, එකක් වාර්ෂික ගාස්තුව ඉහළ එකක් වීම සහ , වාරිකය රියදුරු බලපත්‍රය මත රඳා පැවතීම. ඒ කිව්වේ, මේ සතියේ මොකක් හරි වරදක් නිසා ඔබට දඩයක් වැදුන නම් , ලබන මාසේ ඔබේ වාහනේ රක්ෂණ වාරිකය ඊට අනුපාතිකව වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේ වැඩිවීම අවුරුදු දෙකක් විතර තිබෙනවා.
කොහොමද රක්ෂණයක් තෝරාගන්නේ
අපට රක්ෂණය ලබා දෙන්න ආයතන ගණනාවක් තිබෙනවා. බොහෝ පළාත් වල පුද්ගලික රක්ෂණ ආයනත් සස්කචවාන් වගේ පළාතකට නම් රාජ්‍ය ආයතනත් මෙම වාහන රක්ෂණ ලබා දීම කරනවා. කොහොමද තෝර ගන්නේ, ඒ සඳහා ඔබට අදාල රක්ෂණ ආයතන අමතන්න පුළුවන්, නැත්නං චැට් එකක් දාල විස්තර ගන්නත් පුළුවන්. හැම රක්ෂණ ආයතනයක වගේම වේබ් අඩවියේ ඔබේ අවශ්‍ය අනුව පෙර සැලසුමක් සකසලාම ඔවුන් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාව තිබෙනවා. එහෙම තැත්නම් ගමේ / නගරයේ ඉන්න රක්ෂණ නියෝජිතයා ළඟට ගිහින් උපදෙසක් ගන්නත් පුළුවන්. එතැනදි ඔවුන් ඔබට වඩාත් ගැලපෙන ක්‍රමය තෝරලා දේවි. එහෙම නැත්නම් https://www.ratehub.ca/ වගේ වෙබ් අඩවියක් ඒ සඳහා උදව් කරගන්නත් පුළුවන්. නමුත් අපි පුද්ගලිකව කළේ, අපේ ගිණුම් තිබෙන බැංකුව ඔස්සේම අදාල රක්ෂණ ලබා ගැනීම. දැන් අවුරුදු දහයකට කිට්ටුව , අපට එම ආයතනය ඔස්සේ ලැබෙන රක්ෂණය තුල අවාසියක් වුනේ නැහැ කියල කියන්න පුළුවන්.
කැනඩාවෙදි හැමදේටම රක්ෂණයක් ඕන, වාහනේට, නිවසට, රැකියාවට , ජීවිතයට, නිවසේ ඉන්න සුරතලාට, සංචාර වලට ඔය වගේ නානාවිධ රක්ෂණ එක්ක සෙල්ලම් කරන්න වෙනවා. ඒ නිසා ඒ සෙල්ලම දැනගෙන සෙල්ලම් කරන්න. මොකද එක වාරිකයක් හරි දවසට ගෙවා ගන්න බැරි වුනොත් ඔබේ Credit score එක අඩුවෙනවා. ඒ කියෙන්නේ එය ඉදිරි වාරික වලට අහිතකර විදියට බලපාන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නොවේ, ඔබේ සම්පුර්ණ ජීවිතයට අදාල ආර්ථික කටයුතු වලදි එය නරක විදියට බලපානවා. අනෙක් දඩයක් දෙකක් වැදුනොත්, අනපේක්ෂිත රක්ෂණ වාරික වැඩිවීමක් සිදුවන නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ.
අපේ කැනඩාවට ඇවිත් වාහනයක් ගන්න විදිහ ගැන ලියපු ලිපියත් කියවන්න අමතක කරන්න එපා.
Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group
GIPHY App Key not set. Please check settings