in ,

College වලටත් වඩා tuition fee අඩු කැනඩාවේ තියෙන ලාබදායිම විශ්වවිද්‍යාල 10.

college-girl-working-with-laptop-after-lessons (1)
කැනඩාව කියන්නේ ලෝකයේ ලස්සනම සහ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම තියෙන විශ්වවිද්‍යාල ගොඩක් පිහිටලා තියෙන රටක්. ඉතින් කැනඩාවේ අධ්‍යාපනය ලබන්න ස්ටුඩන්ට් වීසා අයදුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් දෙනෙක් මොන university එකද තෝරාගන්නේ කියලා ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හැබැයි මේසාමන්‍යයෙන් කැනඩාවේ විශ්වවිද්‍යාලයක විදේශීය ශිෂ්‍යයෙක් විදිහට ඒ කියන්නේ International student කෙනෙක් විදිහට අධ්‍යාපනය ලබන එක සැහෙන්න වියදම් වෙන වැඩක්. සාමාන්‍යයෙන් කැනඩාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් කරන්න අවුරුද්දකට කැනඩා ඩොලර් 30000ක් හෝ ඊට වැඩි ගානක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් අවුරුද්දකට ලක්ෂ 50කට ආසන්න ගානක්. මේ නිසා ලංකාවෙන් එන ගොඩක් දෙනා මීට වඩා තරමක් මිල අඩු colleges තෝරාගන්න යොමු වෙනවා. හැබැයි college එකක මිලටත් වඩා අඩුවෙන් උපාධි හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලත් කැනඩාවේ තියෙනවා.
මේ ලිපියෙන් අපි ඔයාලට කියන්නේ අන්න ඒ වගේ කැනඩාවේ තියෙන මිල අඩු විශ්වවිද්‍යාල 10ක් ගැන.

අංක 10. University of Manitoba ( වසරකට $ 20000 සිට)

කැනඩාවේ මැනිටොබා ප්‍රාන්තයේ විනිපෙග් වල පිහිටලා තියෙන University of Manitoba කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. සාමන්‍යයෙන් අවුරුද්දකට කැනඩා ඩොලර් 20000 විතර ඉඳල මේකේ පාඨමාලා හදාරන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ජිවත් වෙන්න යන වියදමත් සාපේක්ෂව ටිකක් විතර අඩුයි. ඒ වගේම PR එක ලබාගන්නත් වැඩි අවස්ථාවන් තියෙනවා. රැකියා හොයාගන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

අංක 9. Vancouver Island University (වසරකට $ 19000 සිට)

කැනඩාවේ තියෙන්න ලස්සනම ප්‍රාන්තයක් වෙන බ්‍රිටිෂ් කොලොම්බියාවේ Vancouver දුපතේ නැනයිමෝ වල තමයි මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේත් මුහුදට කිට්ටුව ඉතාම ලස්සන තැනක. සාමාන්‍යයෙන් මේකේ අවුරුද්දකට ඩොලර් 17000ක විතර ඉඳල bachelor ඩිග්‍රී හදාරන්න අවස්ථාව තියෙනවා. මේ ප්‍රදේශයේ ජිවත් වෙන්න යන වියදම නම් ටිකක් විතර ඉහලයි. ඒ වගේම PR ලබාගැනීම ටිකක් විතර අමාරු වෙන්න පුළුවන් උනත් රැකියා අවස්ථා නම් විශාල වශයෙන් තියෙන නිසා පහසුවෙන්ම රැකියාවක් හොයාගන්න පුළුවන්.

අංක 8. University of New Brunswick (වසරකට $ 19000 සිට)

University of New Brunswick කියන්නේ 1785 දී ආරම්භ කරපු රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. විදේශීය ශිෂ්‍යන්ට ඩොලර් 17000 විතර ඉඳල පාඨමාලා හදාරන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ජිවත් වෙන්න යන වියදම ටිකක් විතර අඩුයි කියන්න පුළුවන් වගේම PR ගන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ ප්‍රදේශයේ රැකියා අවස්ථා නම් ටිකක් විතර අඩු නිසා රැකියාවක් හොයාගන්න එක ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්.

අංක 7. University of Saskatchewan ( වසරකට $ 18500 සිට)

කැනඩාවේ සස්කෙචුවාන් ප්‍රන්තයේ තියෙන ප්‍රධාන රජයේ විශ්වවිද්‍යාලය තමයි මේ University of Saskatchewan කියන්නේ. ඩොලර් 18500 විතර ඉඳල පාඨමාලා තෝරාගන්න තියෙනවා. සස්කෙචුවාන් ප්‍රන්තයේ ජිවත් වෙන්න යන වියදම සාපේක්ෂව අඩු PR ලබාගැනීමට අවස්ථා වැඩියෙන් තියෙන ප්‍රාන්තයක්. නමුත් රැකියා අවස්ථා නම් ටිකක් විතර අඩු වෙන්න පුළුවන්. 

අංක 6. Cape Breton University ( වසරකට $ 17500 සිට)

Cape Breton University එක පිහිටලා තියෙන්නේ සිඩ්නි වල. හැබැයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල නෙවෙයි කැනඩාවේ Nova Scotia ප්‍රාන්තයේ තියෙන සිඩ්නි වල. අවුරුද්දකට ඩොලර් 17500 ක විතර ඉඳල තෝරගන්න පාඨමාලා මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. ජිවත් වෙන්න වියදම් අඩු PR ගන්න ටිකක් ලේසි ප්‍රාන්තයක් උනත් Nova Scotia වල රැකියා අවස්ථා අඩු නිසා පාර්ට් ටයිම් රැකියාවක් හොයාගන්න එක එහෙම ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. ඒත් විදේශීය ශිෂ්‍යයන් අතරේ ගොඩක් ජනප්‍රිය විශ්වවිද්‍යාලයක් විදිහට Cape Breton University එක හඳුන්වන්න පුළුවන්.

අංක 5. Mount Saint Vincent University ( වසරකට $ 17500 සිට)

Mount Saint Vincent University එහෙමත් නැත්නම් ගොඩක් දෙනා Mount කියලා හඳුන්වන මේ විශ්වවිද්‍යාලය තියෙන්නෙත් අපි මීට කලින් කතා කරපු Cape Breton University එක පිහිටලා තියෙන ප්‍රාන්තය වෙන Nova Scotia වල halifax නගරයේ. $ 17500 විතර ඉඳල තෝරගන්න පාඨමාලා මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා.

අංක 4. Brandon University ( වසරකට $ 16000 සිට )

මැනිටෝබා ප්‍රාන්තයේ බ්‍රැන්ඩන් වල පිහිටලා තියෙන Brandon University ගොඩක් විදේශීය ශිෂ්‍යයන් අතරේ ලාබදායි විශ්වවිද්‍යාලයක් විදිහට ප්‍රසිද්ධ ආයතනයක්. අවුරුද්දකට ඩොලර් 16000 විතර ඉඳල තෝරගන්න පාඨමාලා මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ වගේම මේක පිහිටලා තියෙන මැනිටොබා ප්‍රාන්තය PR ලබාගන්න වගේම ජිවත් වෙන්න ඉතාම සුදුසු ප්‍රාන්තයක් විදිහට ප්‍රසිද්ධයි. ජිවත් වෙන්න යන වියදම ඉතා අඩුයි වගේම රැකියා හොයාගන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

අංක 3. Concordia University of Edmonton (වසරකට $ 16000 සිට)

මේක ඇල්බර්ටා ප්‍රාන්තයේ එඩ්මන්ටන් වල තියෙන පුද්ගලික විශ්වවිද්‍යාලයක්. හැබැයි සාමන්‍යයෙන් අනිත් පුද්ගලික විශ්වවිද්‍යාල වගේ මේකේ ඉගෙනගන්න ලොකු මුදලක් අවශ්‍ය නැහැ. සාමන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් 16000ක් වගේ ගෙවල මේකේ පාඨමාලාවක් කරන්න අවස්ථාව ඔයාට තියෙනවා. ඒ වගේම තමයි එඩ්මන්ටන් කියන්නේ පාට ටයිම් ජොබ් එකක් හොයාගන්නත් ගොඩක් ලේසි ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් හොයාගෙන PR එක ගන්නත් ලොකු අවස්ථාවක් තියෙනවා.

අංක 2. Saint Paul University ( වසරකට $ 15500 සිට)

කැනඩාවේ අගනගරය වෙන ඔටාවා වල තමයි මේ Saint Paul University එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔන්ටාරියෝ ප්‍රන්තයේ තියෙන අඩුම වියදමකින් අධ්‍යාපනය ලබන්න පුළුවන් විශ්වවිද්‍යාලය විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. අවුරුද්දකට ඩොලර් 15500 විතර ඉඳල පාඨමාලා මේකේ තියෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රදේශයේ ජිවත් වෙන්න යන වියදම ටිකක් වැඩියි වගේම PR ගන්න තියෙන අවස්ථාවත් අඩුයි. හැබැයි විදේශීය ශිෂ්‍යන්ට ඔන්ටාරියෝ වල පාර්ට් ටයිම් රැකියා අවස්ථා බහුලයි වගේම අධ්‍යාපනයෙන් පස්සේ උනත් රැකියාවක් පහසුවෙන්ම හොයාගන්න අවස්තාව තියෙනවා.

අංක 1. Memorial University of Newfoundland ( වසරකට $ 12000 සිට)

මේ තමයි මුළු කැනඩාවේම තියෙන විදේශීය ශිෂ්‍යන්ට ලාබදායිම මුදලකට අධ්‍යාපනය ලබන්න පුළුවන් විශ්වවිද්‍යාලය. පිහිටලා තියෙන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වෙන ශාන්ත ජෝන් (St. John’s) නගරයේ. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වෙන මේකේ පාඨමාලා අවුරුද්දටම ඩොලර් 12000ක විතර ඉතාම අඩු මුදලක් ගෙවලා හදාරන්න පුළුවන්. සාමන්‍යයෙන් කොලේජ් එකකවත් මේ වගේ ගානට පාඨමාලා හොයාගන්න අමාරුයි. විශේෂම දේ තමයි නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල ජිවත් වෙන්න යන වියදම ඉතාම අඩුයි වගේම PR ලබාගන්න විශාල අවස්ථාවක් තියෙනවා. රැකියාවක් හොයාගන්න එක උනත් එච්චරම අමාරු නැහැ.
ඉතින් ඔයත් කැනඩාවේ අධ්‍යාපනය ලබන්න එන්න ඉන්නවා නම් මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා. හැබැයි අපි මේ කියපු ගණන් ටිකක් එහා මෙහා වෙන්න පුළුවන් මොකද අපි මේ කිව්වේ මේ විශ්වවිද්‍යාල වල අඩුම ගානකට තියෙන bachelor පාඨමාලා වල ගාස්තු. හැබැයි bachelor’s ඩිග්‍රී වලට විතරක් නෙවෙයි Master ඩිග්‍රී වලටත් ගාස්තු අනෙක් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව මේ හැම එකක්ම ගොඩක් අඩුයි. ඒ කොහොම උනත් ඔයා තෝරාගන්න පාඨමාලාව අනුව සමහරවිට ගාස්තු වැඩි වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ වගේම තමයි මේ එක එක විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න තියෙන අවස්ථා සහ අවශ්‍ය කරන සුදුසුකම් එහෙමත් එකින් එකට වෙනස් වෙන්න පුළුවන්.
කැනඩාවට එන්න හිතාගෙන ඉන්න ඔයත් මේ අතරින් එකකට අයදුම් කරන්න අදහස් කරනවා නම් හොඳට හිතලා බලල ජිවත් වෙන්න යන වියදම රැකියාවක් හොයාගන්න තියෙන අවස්ථා වගේම විශේෂයෙන්ම PR ලබාගැනීමේදී ඔයාට වාසි වෙන විදිහට විශ්වවිද්‍යාලයක් තෝරගන්න කටයුතු කරන්න.
**මෙම ලිපියේ ඩොලර් යනුවෙන් අදහස් කර ඇත්තේ කැනේඩියානු ඩොලර් බව කරුණාවෙන් සලකන්න**

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

sideview-students-prepearing-exams-university (1)

කැනඩාවට Student visa වලින් ඉගෙනගන්න එන්න කලින් මේ දේවල් සුදානම් කරගන්න.

ඕලෙවල් ඉවර වෙලා ඉක්මනින්ම කැනඩා එන හරි පාර.