අද දවස වෙත්දි කැනඩාවට ඒමේ පහසුම ක්‍රමය වෙලා තිබුණූ Express Entry කියන මාවත ටිිකෙන් ටික “අපහසු“ වෙන තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. උපාධි කිහිපයක්, හෝ පශ්චාත් උපාධි වැනි අවස්ථාවක් , සහ අඩු වයස් සීමාවක් සමඟ IELTS සඳහා ඉහළම ලකුණූ මට්ටමක් නොලබා මෙම ක්‍රමය ඔස්සේ කැනඩාවට ඒම “සිහිනයක්ම“ වේවිදෝ කියන ගැටළු මතු වෙමින් තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ, කැනඩාවේ සිහිනය සැබෑ කරගැනීමේ මාවත් අතර PNP සහ Student permits ඉහළ තැනකට එනවා. කෙසේ වෙතත්, Student permits සඳහා වැඩි කාළයක් සහ පිරිවැයක් වැය කළ යුතු තත්ත්වයක එවැනි අවස්ථාවක් නොමැති බොහෝ දෙනෙක්ට තමන්ගේ අරමුණ වෙනුවෙන් ඇති ඊළඟ පහසුම මාර්ගය වෙන්නේ PNP ක්‍රමය. මේතුල අතුරු මාවත් ගණනාවක් ඇති නිසාත්, අවශ්‍ය වන සුදුසුකම් වල යම් පහසුමට්ටමක් ඇති නිසාත් බොහෝ දෙනෙක්ට PNP ක්‍රමය පිළිබඳව සොයා බලන්නට මේ කාළය යැයි කියන්නට කැමතියි.
කෙසේ වුවත්, PNP ක්‍රම වැඩි ගණනකදි තවත් ගැටළුවක් අපට පැන නගිනවා. ඒ ජොබ් ඔෆර් එක. බොහෝ PNP තුල ජොබ් ඔෆර් එක අත්‍යවශ්‍යයි.
දැන් අපට කැනඩාවෙන් ජොබ් ඔෆර් එකක් ලබා ගන්නට හැකිනම් සෘජුවම වර්ක් පර්මිට් එකක් යටතේ ඒම හෝ PNP ඔස්සේ පැමිණ PR ලබා ගන්නට අවස්ථාව තිබෙනවා.( අදාල ඔෆර් එක ලැබුණේ Pilot Program එකකට අදාල ප්‍රෙද්ශයකින් නම් තවත් වාසියි) එයින් හැකියාවක් ඇත්නම් දෙවැන්න වඩාත් සාර්ථකයි.එසේ හැකියාවක් නැත්නම් වර්ක් පර්මිට් එක ඔස්සේ කැනඩාවට පැමිණ පසුව CEC ඔස්සේ PR සඳහා ඉල්ලුම් කරන්නට පුළුවන්.
නමුත්!….. ගැටළුව එන්නේ කැනඩාවෙන් ජොබ් ඔෆර් එකක් ලබා ගැනීම. එය පහසු කටයුත්තක් නොවේ. හේතු කිහිපයක් නිසා,
- එක, රජයක් ලෙස “කැනඩා රජය“ , කැනඩාව් සේවාදායකයින් ගෙන් බලාපොරොත්තු වන්නේ , කැනඩාව තුල සිටින පදිංචිකරුවන්ට රැකියා අවස්ථා බිහිකරදීමයි. ඒ සඳහායි රජය ප්‍රමුඛතාව ලබා දෙන්නේ.
- දෙවැන්න, රැකියා පුරප්පාඩුවක් සඳහා ඉල්ලුම්පත් කැඳවන ආයතනය , ඒ සඳහා කෙටි කාළසීමාවක් තුල ගැලපෙන සේවකයෙක් ලබා ගැනීමටත් වඩාත් කැමති. පුරප්පාඩුව පිරවීම සඳහා සති දෙකකදි කළ හැකි අවස්ථාවක , ඒ වෙනුවෙන් මාස හයක් අටක් බලාගෙන “කාළය නාස්තිකරන්නට“ කැනඩා සේවාදායකයින් කටයුතු කරන්නේ නැහැ.
- තෙවැන්න, අදාල පුරප්පාඩුව සඳහා විදේස් රටකින් ඉල්ලුම්කරුවකු බඳවා ගැනීමට , ආයතනයට යම් වියදමක් කිරීමට සඳ සංකීර්ණ නීතිමය ක්‍රියාවලියක යා යුතු වෙනවා. ( මේ පිළිබඳ අප මීට පෙර කතා කළා) නමුත් අදාල පුරප්පාඩුව සඳහා ආයතනය තිබෙන නගරයේ සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන් දහස් ගණනක් ඇති අවස්ථාවක පෙර කී වියදම් සහ කාළය වැයවන ක්‍රියාවලියට යන්නට ඔවුන් පෙළඹෙන්නේ නැහැ.
- සිව්වැන්න, කැනඩාවේ රැකියාවක් සඳහා රටෙන් පිට ඉල්ලුම්කරුවෙක්ට අවස්ථාවක් ලබා දෙන්නට රජය ඉඩ දෙන්නේ , අදාල පුරප්පාඩුවට සුදුසුකම් ඇති අයෙක් කැනඩාව තුල සොයා ගත නොහැකි නම් පමණයි. ඒ සඳහා ආයතනය දැරූ සියළු උත්සාහ අසාර්ථක වූ තැන පමණයි මේ සඳහා උත්සාහ කිරීමටවත් ඉඩක් ලැබෙන්නේ. නමුත්, කැනඩාව කියන්නේ අධ්‍යාපනය අතින් ඉහළම තැනක ඉන්න රටක්, 50%කට වඩා තරුණ පිරිසට අවම වශයෙන් College Diploma එකක්වත් තිබෙනවා. ඒ වගේ අවස්ථාවක ළඟ ඉන්න සුදුස්සා හැර ,ඈත සිටින “සුදුස්සා“ වෙත මේ ආයතන වල ඇස නොයන තමරම්,
- පස් වැන්න, කැනඩාවේ රැකියාවක් සඳහා අත්‍යවශ්‍යම සාධකයක් ලෙස ආයතනය දකින්නේ “Canadian experience” මෙය නැතිව , කැනඩාව තුල ඉන්නා අයෙක්ට පවා රැකියාවක් ලැබීමේ අවස්ථාව අඩු තත්ත්වයක , මෙම කැනේඩියානු අත්දැකීම නැති විදේශිකයෙක්ට අවස්ථාවක් ලබා දීමට ඇති අවස්ථාව ඉතාමත් අඩුයි.
කෙසේ වෙතත්, පෙර කී සියළු අවස්ථාවන් මග හැර කැනඩාවේ රැකියාවක් , කැනඩාවෙන් පිට විදේස් රටක ජීවත් වන , ඉල්ලුම්කරුවෙක්ට ලැබීමේ අවස්ථාවන් තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම Pilot programs වලට අදාල නගර වල , ප්‍රධාන නගර වලින් ටිකක් ඈත නගර/ගම් වල පුරප්පාඩු පුරවා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්පත් නොලැබෙන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයකගේ කැමැත්ත ඇත්තේ ප්‍රධාන නගර ආශ්‍රිතව රැඳෙන්නට. එතැනදි , නගරයෙන් ඈත කුඩා නගර වල ආයතන සඳහා පුරප්පාඩු පුරවා ගන්නට අපහසුතා එනවා. මේ තත්ත්වය අප ප්‍රායෝගිකව අත්දැක තිබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදි ඔබට පුළුවන් , ජොබ් ඔෆර් එකක් ලබා ගැනීම සඳහා උත්සාහයක් දරන්නට.
කෙහොමද ඒක කරන්නේ?
මුල්ම වැදගත්ම දේ හදාගන්න LinkedIn ගිණුමක්, එය වෘත්තීය පෙනුමක් ඇතිවන ලෙස , ඔබේ අධ්‍යාපන , වෘත්තීය සුදුසුකම් වගේම පෙන්වූ විවිධ දක්ෂතාවයන් , ළඟා කරගත් වෘත්තීය කඩඉම්, ඔබේ පර්යේෂණ වාර්තා වැනි පරිපූර්ණ ගිණුමක් තනා ගන්න. ඊළඟ ඒ ඔස්සේ ඔබේ වෘත්තීය පරිසරයට අදාල මිතුරන් ජාලයක් LinkedIn තනා ගන්න. ඔවුන් සමඟ සම්බන්ධ වන්න. “ඒ අනේ මට ජොබ් එකක් දෙන්න“ යැයි කරදර කරමින් නොව, ඔවුනගේ ලිපි ලේඛන , තොරතුරු බෙදා ගැනීමේ ගෘෘප් තුල ඔබත් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න. ඒ ඔස්සේ ඔබ , අදාල වෘත්තීය පිළිබඳ මිතුරු පරිසරය තුල “හඳුනගන්නා“ පුද්ගලයෙක් වේවි. මතක තබා ගන්න සමහර විට ඒ තුල ඔබේ ඊළඟ රැකියාවට අදාල මානව සම්පත් කළමණාකාරවරයා ඉන්නට පුළුවන් බව.
කොලේ එළාගන්න
ඊළඟට, කැනඩාවට ගැලපෙන Resume (රිසියුමි) සහCover letter එකක ආකෘතියක් හදා ගන්න. මේ පිළිබඳ Work permit ඒකකය තුල තොරතුරු තිබෙනවා. දැන් , කැනඩාව තුල ඇති රැකියා පිළිබඳව විවිධ වෙබ් අඩවි ඔස්සේ සොයා බලන්න. මෙහිදී www.jobbank.gc.ca , www.indeed.ca , www.monster.ca වැනි වෙබ් අඩවි ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. මෙහිදී වඩාත්ම වැදගත් LMIA ලබා දෙන රැකියා වුවත්, එසේ නොවන රැකියා පිළිබඳව වුවද සොයා බැලීමට වටී. ඒ වගේම යම් ආයතනයක් මීට පෙර LMIA ලබා දී ඇති බව හදුනාගන්නට ලැබුණොත් අදාල ආයතනයේ පුරප්පාඩු සඳහා වැඩිපුර සොයා බලන්න. (නමුත් මෙතැනදි දැනගත යුතු වැදගත් යමක් තිබෙනවා, සමහර වංචාකරුවන් LMIA ලබා දෙන රැකියා පුරප්පාඩු ලෙස ව්‍යාජ දැන්වීම් පළකර මුදල් සොරා ගන්නා අවස්ථා බොහෝමයි. එම නිසා, යම් ආයතනයක රැකියාවක් සොයා බැලීමේදී Google reviews (100% පිළිගන්නට නොහැකි වුවත් එයින් යම් අදහසක් ගන්නට පුළුවන්) , BBB reviews (https://www.bbb.org/) , මෙන්ම සාමාන්‍ය ගූගල් සෙවුමක්ද යොදා ගන්නට පුළුවන්.
ඈතට යන්න
මේ සොයා බැලීම් වලිදී ප්‍රධාන නගර වලින් ටිකක් ඈත සමහර විට ටිකක් දුෂ්කර යැයි හදුන්වා දෙන නගරයක ( ඔබ ගූගල් මැප් එකේ විශාල කරල බැලුවොත් පෙනේවි , කැනඩාවේ සමහර නගර / ගම් ප්‍රධාන නගරයෙන් සෑහෙන ඈත , නති වූ බවක් දැනෙන ජනාවාස/ නගර / ගම් . ඒ ප්‍රෙද්ශ වල ඔබේ වෘත්තියට අදාල කර්මාන්ත / ආයතන තිබේ නම් ( අදාල ගමේ නගරයේ වෙබ් අඩවියට ගියාම එය සොයා ගන්න පුළුවන්) උත්සාහයක් දැරීම ආරම්භ කරන්න පුළුවන්. එතැනදි ඔබට වැදගත් වෙනවා පෙර කී වෙබ් අඩවි ඔස්සේ අදාල ප්‍රෙද්ශයේ ආයතන/රැකියා පිළීබඳ ඔබ ලබා ගත් දැනුම. හැබැයි මතක් තබා ගත යුතුම දේ , හැම රැකියාවකටම “සුවිශේෂී වූ“ රිසියුමියක් , ඔබේ මුල් Resume ආකෘතිය ඔස්සේ සකසා ගන්නට ඕන. ඒ කියන්නේ රැකියාවේ වැදගත් වචන “key words” ඔබේ රිසියුමියේ තිබෙන්නටම ඕන. එහෙම නැතිවුනොත් රිසියුමිය කියවන්න වත් ඔවුන් කාළය වැය කරන්නේ නැහැ. අනෙක් වැදගත් දේ එකම රැකියාවට රිසියුමි ගණනාවක් යවන්නට එපා. එය ඔබේ නම් ඔවුන්ගේ දත්ත ගබඩාවෙන් සම්පුර්ණයෙන් ඉවත් කරන්නට හේතුවක් වේවි. රිසියුමියක් යොමු කළාට පස්සේ, ඔබේ LinkedIn ගිණූමට සබැඳිම අදාල ආයතනයේ නිලධාරියෙක් / මානව සම්පත් නිලධාරියෙක් සිටීනම් , වැදගත් සහ වෘත්තීය ලෙස කෙටි පණීවිඩයක් ඔස්සේ , අදාල පුරප්පාඩුවට ඉල්ලුම් කළ බවත් , ඔබේ සේවය ලබා දෙන්නට කැමැත්තෙන් සිටිනා බවත් දැනුම් දෙන්නට පුළුවන්. මෙය නීතියක් හෝ ක්‍රමයක් නොවුනත් ඒ ඔස්සේ ඔබට යම් “ස්ථානයක්“ ලබාගන්නට පුළුවන් වේවි. ඊළඟ රිසියුමි දහස් ගණනක් යොමු කළොත් ඔබට එක සම්මුඛ පරික්ෂණයකට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ රැකියා පර්යේෂණයන් සහ ගැලපෙන අවස්ථාවන් සඳහා රිසියුමි යොමු කිරීම දිගටම කරගෙන යන්නට වේවි.
විමසිලිමත් වෙන්න
යම් හේතුවක් නිසා ඔබව “සුදුසු ඉල්ලුම්කරුවෙක්‘‘ ලෙසට තෝරාගත හොත් ආයතනයේ ඩෝමේනය සහිත ඊමේලයකින් , (බොහෝ අවස්ථාවන් වලදි මානව සම්පත් අංශයේ) ඔබට ඒ බව දන්වන අතරේ, සම්මුඛ පරික්ෂණයක් සඳහා “ඔබට පහසු“ කාළ ඡේදයක් තෝරා ගන්නට , කාළ ඡේද කිහිපයක් ඔබ වෙත එවනවා. ඊට අදාල පිළිතුර ලෙස , තෝරා ගැනීම් වෙනුවෙන් ස්තුතිය සමඟ ඔබට පහසු කාළය පිළිබඳ දන්වා යැවූ විට , අදාල කාළය තුල දන්වා ඇති ක්‍රමය මගින් ,( දුරකථන , ස්කයිප්වැනි ) ඔබ සමඟ සංවාදයේ යෙදෙමින් සම්මුඛ පරික්ෂණය කරාවි. ලංකාවේ සම්මුඛ පරික්ෂණ වලට වඩා මේවා මිත්‍රශීලී බවක් හැඟුනත් ඒ තුල ඔබට අතිශ්‍යය පරික්ෂාවට ලක් කරන බව කියන්නම ඕන, ඔබේ ඇස්වල චලන, චර්යාවන්, මිත්‍රශිළී ස්වභාවය, පිළිතුරේ ඇති සෘජු / ස්ථාවර බව ආයතනය වෙනුවෙන් කැප වන්නට ඔබට ඇති කැමැත්ත, හදිසි තීරණ ගැනීමේ හැකියාව මෙන්ම, කැනඩාව වැනි බහු සංස්කෘතික පරිසරයක ඔබ ඊට ඔරොත්තු දෙන ආකාරය පවා වක්‍රාකාරව විමසන්නට පුළුවන්. වැදගත් , මතක තබා ගන්න , සම්මුඛ පරික්ෂණය යනු රැකියාව ලැබීම නොවේ.
අපි හිතමු , ඔබ සම්මුඛ පරික්ෂණයෙන් සමත් වූවා යැයි. එවිට ඒ බව ඔබ වෙත පෙර ලෙසම ඊමේලයකින් දන්වා එනවා. ඊට දින කිහිපයකට / සති කිහිපයකට හෝ සමහර විට මාස කිහිපයකට පසුව ඔබට Job offering letter සහ LMIA සහතිකය ලැබෙන්නට සලස්වාවි. (Pilot programs වලදී නම් LMIA අවශ්‍ය නොවන නිසා දින කිහිපයකින් මෙම ඊමේලය ලැබෙන්න පුළුවන්. දැන් ඔබට කරන්නට තිබෙන්නේ අදාල ආයතනයේ ප්‍රධාන දුරකථනය ඔස්සේ (ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්) එහි මානව සම්පත් අංශය අමතා අදාල රැකියා ප්‍රධානය තහවුරු කරගෙන, මුලින්ම කී කැමති ආකාරයක් ඔස්සේ කැනඩාවට පැමිණීයි. එතැනදි ඔබ PNP සඳහා මෙම ජොබ් ඔෆර් එක යොදා ගන්නවා නම් ඒ බව අදාල මානව සම්පත් අංශය දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම Pilot එකකදි අදාල ආයතනය ජොබ් ඔෆර් එකට අමතරව , ඉදිරි කටයුතු පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් ඔබට ලැබෙන්නට සලස්වනවා. මේ හැම අවස්ථාවකම අදාල උපදෙස් අනුව කටයුතු කිරීම මගින් ඔබේ ගමන වඩාත් පහසු වේවි. වැදගත්ම දේ මේ කිසිදු අවස්ථාවක කැනඩාවේ රැකියාව ලබා දෙන ආයතනය ඔබෙන් “කිසිදු මුදලක්“ ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ නොමිලේ ගුවන් ටිකට් ලබා දීම වැනි දේ කෙරෙන්නේත් නැහැ.
අවසානයේ , ඔබ රැකියා ඉල්ලුම් කිරීමේදී, කැනඩාව තුල ඉන්නා ඔබේ පවුලේ සාමාජිකයා , මිතුරා ඔස්සේ යම් උපකාරයක් ගත හැකි අවස්ථා තිබුණත් , (විශේෂයෙන්ම කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ පුද්ගලික කර්මාන්ත ශාලා, නිශ්පාදනාගාර වැනි) බොහෝ විශාල පරිමාණයේ ආයතන සහ සමාගම් මෙන්ම රජයේ රැකියා වලදි එබදු කිසිදු විශේෂ සහයෝගයන් ලබා ගැනිමට / දීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබම මේ වෙනුවෙන් වෙහෙසීමයි වඩාත් සාර්ථක වන්නේ. කෙසේ වෙතත් අවසානයේ කියන්නට ඕන මුලින් කීදෙයක්, මෙය උත්සාහයක් පමණයි, එයින් 100%ක සාර්ථක ඵල ලැබේදැයි කීමට කිසිවෙක්ට හැකියාවක් නැහැ.
Original Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group
GIPHY App Key not set. Please check settings