කැනඩාව වගේ රටවල පදිංචිය මාරු කරනවා කියල කියන්නේ ඒ තරම්ම අහඹු දෙයක් නෙවි. පොදුවේ ඉතාමත් කළාතුරකින් කෙනෙක් තමයි පැමිණි තැනම පදිංචි වෙලා ඉන්නේ. ඒ නිසා අද මේ ලිපිය තුල කතා කරන්න හදන්නේ අන්න ඒවිදියට “මාරු වෙන්න” හදන කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක්. මතක තබා ගත යුතු දේ මේ බොහොමයක් අපේ පුද්ගලික අත්දැකීම් ඔස්සේ ලියනවා විනා, මේ වෙනුවෙන් අනුගමනය කරන්න මේකයි හරියනම පොත කියල කියන්න දෙයක් නැහැ. ඒ නිසා තවත් කෙනෙක්ගේ අත්දැකීම් ටිකක් වෙනස්වෙන්න ඕන තරම් ඉඩ තිබෙන බවත් මතක් කරනවා.
ඇයි මාරු වෙන්නේ ?
කැනඩාවට එන ඔබට ඇයි පදිංචිය මාරු කරන්න වෙන්නේ කියල ඇහැව්වොත් හේතු ගණනාවක් වෙන්න පුළුවන්. එයින් පොදු එක කරුණක් තමයි කැනඩාවට පැමිණි අළුත පදිංචි වූ තැනින් “තමන්ගේම තැනකට” මාරු වීම. නමුත් ඊට වඩා අවස්ථා තිබෙන්න පුළුවන්. සමහර විට හොඳ රැකියා අවස්ථා ඇති නගරයකට , නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්, එහෙමත් නැත්නම් ආරක්ෂාව, යම් අවදානම් ඇති ප්‍රජාවක් තුලනම් ජීවත් වෙන්නේ ඒ අවදානම් වලින් ඉවත් වෙන්නට වෙන්න පුළුවන්. තවත්, ඉන්න ප්‍රදේශයේ මිලට වඩා අඩු වියදමකින් , දැනට සිටින නිවස වත්ත පිටියට වඩා හොඳ අතපය දිග හැරල ඉන්න පුළුවන් තැනකට යන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කිහිපයක එකතුවක් නිසා වෙන්නත් පුළුවන්. මේ කුමක් වුවත් “පදිංචිය මාරු වීම” තුල අප අනුගමනය කළ යුතු වැදගත් පියවර ගණනාවක් තිබෙනවා. ඒ අනුගමනය නොකිරීම තුල විවිධ අපහසුතා , පාඩු සහ සිත්රිදීම් වෙන්නට පුළුවන් නිසා “මාරු වීමත්” සැලසුමක් ඇතිව කරන්නට මෙන්න මේ පියවර ඔස්සේ ගිහින් බලමු.
1. සල්ලි බලන්න.
a. පදිංචිය මාරු කරනවා කියන්නේ අමතර යම් වියදමක් යන කටයුත්තක්. ඒ නිසා පදිංචිය මාරු කිරීම සම්පුර්ණයෙන් තහවුරු කරගන්න ඉස්සර වෙලා බලන්න, ඔබට හැකියාව තිබෙනවද මේ අමතර අතිරේක වියදම දරන්නට. ඒ වගේම අළුත් තැනකදි මතුවන “අළුත් වියදම්” වලට මුහුණ දෙන්නට හැකියාවක් තිබේද? උත්තරේ ඔව් නම් මෙතැනින් එහාට යන්න. උත්තරේ “නැත” නම් මේ අමතර වියදමටත් මුදල් සූදානම් කරගෙන ඊළඟ තැනට යන්න.
2. පවුල සූදානම් කරන්න.
a. මුදල් ප්‍රමාණවත්ව ඇත්නම් , ඔබේ අවශ්‍යතාවය පදිංචිය මාරු කිරීම නම්, , පවුලේ හැමෝම ඔබේ ඊළඟ පියවර ගැන හොඳින් දැනුවත් කරන්න. විශේෂයෙන්ම දරුවන් දැනුවත් කරන්න. පැහැදිලි කර දෙන්න මේ අවශ්‍යතාව. අපට වඩා වැඩි අපහසුතාවකට මුහුණ දෙන්නේ දරුවන්, එතැනිනුත් වයසින් පන්තියෙන් ඉහළට යන්න මේ ගැටළුව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම මේ “අළුත් වෙනස වෙනුවෙන්” පෙර සූදානමක් වෙන්න අවශ්‍යමයි. වෙනස සිදුවන දින වකවානු සැලසුම් කරගන්න. දරුවන් ඉන්නවා නම් එතැනදි හුඟක් සැලකිළිමත් වෙන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විය හැකි බාධාව අවම කරගන්නට.
3. අළුත් තැන සොයන්න
a. මේ ගැන මම කියන්න හදන්නේ ඔබ , ඔබේ අවශ්‍යතාව මත මාරු වෙන්නට හදන අළුත් නගරය , ප්‍රජාව ගැන හොයල බලන්න. හැකියාවක් ඇත්නම් යන්න පොඩි ඩ්‍රයිව් එකක්. පුළුවන් නම් දවසක් දෙකක් රැඳිලා, ඇවිදල , පාසල් , රෝහල් ග්‍රොසරි ස්ටෝර්ස් වල නගරයේ City office එකේ කරක් ගහල බලන්න “ඇත්තටම මේ මට ඕන කරන තැනද?” කියල, දරුවන් ඉන්නවා නම් මතක ඇතුව මේ ගමන් වලට දරුවන් එකතු කරගන්න . මොකද නැත්නම් මාරු වීම කියන්නේ කාළය වගේම විශාල මුදලක් වැය වන කටයුත්තක්. මේ කී සොයා බැලීම නොකළොත් ඔබට ලොකු පාඩු වෙන්නට ඉඩ වැඩියි.මොකද බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ දකින දේම නොවෙන්න පුළුවන් අදාල පරිසරයේ ඇත්ත තත්ත්වය. ඒ නිසා යන්නට නම් ලේස්තිය යන තැන ගැන කල් තියා හොයා බලන්න.
b. ඊළඟට බලන්න, අදාල ප්‍රදේශයේ බදු, එදිනෙදා බඩුබාහිරාදිය , ගෑස් , ජල, කසල බැහැරලීම , විදුලි ගාස්තු කොහොමද කියල. ඊළගට පළාත තුල තිබෙන ජනවර්ග බෙදීයාම , එම බෙදීයාම තමන්‍ට පවුලට දරන්න පුළුවන්ද කියන එක , අපරාධ සිදුවන ප්‍රමාණය , ප්‍රදේශ . පොදුවේ අදාල තෝරා ගත් නගරය හෝ ස්ථානය ගැන මූලික අවබෝධයක් ලැබිය යුතු හැමදේම.
c. මේ සියල්ල හෝ වැඩි ප්‍රමාණයක් ඔබට අවශ්‍ය තත්ත්වයේ ඇත්නම් ඔබේ ඊළඟ නවාතැන ගැන සොයන්න. එය මිලදී ගැනීමක් නම් ඊට අදාල ආයතන හෝ කුළී පදනම මත නම් ඔබටම ඒ සඳහා උත්සාහ කරන්න , විමසා බලන්නට පුළුවන්. මේ කටයුත්ත අවසානයේ ඔබේ ඊළඟ නවාතැන සාර්ථකව සූදානම් කරගත්තා නම් , ( මිළදී ගත්තා නම් හෝ කුළී පදනම මත නම් අදා ගිවිසුම්ගත වීම් වූවානම්) ඊළඟ පියවරට යන්න
4. දැනුම් දෙන්න
a. දැන් ඔබේ තීරණය දැනුම් දිය යුතු කණ්ඩායම් වෙත දැනුවත් කරන්නට කාළය , ඔබ දැනට රැකියාව කරන ස්ථානයේ වගකිව යුතු නිළධාරින්ට මෙම තීරණය ගැන දැනුවත් කරල අදාල ආයතනයේ නීති රීති වලට අනුව ඉවත්වීමේ ලිපි ලබා දීම, දැනට සිටින නිවස ඔබේ නොවේ නම් එහි හිමිකාරීත්වයට ලිඛිතය දැනුම් දීම, දැනට පදිංචිව සිටින ප්‍රදේශයේ “දැනුම් දිය යුතු” මිතුරු මිතුරියන් ඥාතීන් සිටීනම් ඔවුන් . මේ විදියට පෙර දැනුම් දීම් කළ යුතු තැන් ගැන සොයා බලා එක කටයුතු කරගැනීම පසුව ඇතිවිය හැකි ගැටළු වලක්වා ගන්න පුළුවන්.
b. දරුවන් පාසල් යනවා නම් පාසල දැනුම් දෙන්න, ලැබිය යුතු ලිපි ලේඛණ ඇත්නම් ඒවා ලබා ගෙන ගුරුවරුන් හමුවී කතා බහ කරන්න.
5. ඉන්න තැනින් යන තැනට
a. දැනට ඔබ ඉන්නේ කුළි පදනම මත නම් , එම නිවසේ කළ යුතු අළුත් වැඩියා (තමන් අතින් සිදුවූ හානි තිබේනම්) සිදුකර, ජලය , විදුලිය කසල බැහැරලීම , වාහන නිවාස රක්ෂණ වැනි සේවා සඳහා ගෙවීම් කරනවා නම් එම සේවා ඔබ වෙනුවෙන් නැවැත්විය යුතු දිනයන් , නැත්නම් මාරු කළ යුතු දිනයන් පිළිබඳ අදාල සේවා පහසුකම් සපයන ආයතන දැනුවත් කිරීම ඊට අමතරව ඔබේ අන්තර්ජාල සම්බන්ධතා, දුරකථන සේවා නැවැත්වීමට සිදුවේ නම් ( විශේෂයෙන්ම පළාත් අතර මාරු වීම්වලදී) ඒ පිළිබඳ අදාල ආයතන දැනුවත් කිරීම සහ අදාල ගෙවීම් සඳහා කටයුතු කිරීම හරිම වැදගත්. සාමාන්‍යයෙන් කුළි පදනම මත නම් ඉන්නේ මෙම පිළිසකර කිරීම් වලින් පස්සේ අදාල නිවෙස් හිමියා නිවස පරික්ෂාවකට ලක්කරලා, ඔබෙන් ලබා ගත් “ආරක්ෂක තැන්පතුව” දීමට සූදානම් කරාවි.
b. විශේෂයෙන්ම විදුලිය , ගෑස්, වතුර සහ කසල බැහැරීලීම් වලට අදාලව තව නිවසේ අදාල සේවා ආරම්භ විය යුතු දිනය නිවැරදිව තහවුරු කරගන්න. අවශ්‍ය ගෙවීම් කරන්න. කිසිම අවස්ථාවක අළුත් නිවසට පැමිණ ඉන්න පසු මෙම පහසුකම් එකතු කරගැනීමට ප්‍රමාද වන්න එපා.
c. ලිපිනයන් මාරු කිරීම් වලට සූදානම් වන්න. කැනඩා තැපෑල තුල ඔබේ ලිපිනය අළුත් තැනට මාරු කරන්න, ඔබ දැනට ලියපදිංචිවී ඇති , ඔබ වෙත ලිපි යොමුවන ආයතන වේ නම් ඒවායේ ද ලිපිනයන් මාරු කිරීමට කටයුතු කරන්න( නමුත් තැපෑල තුල ලිපිනය මාරු කිරීමේදී , පෙර ලිපිනය පැවතියද අළුත් ලිපිනයට ඒවා හරවා යැවෙන නිසා මේ අවස්ථාවේම සිදු නොකළද ගැටලුවක් ඇති නොවේ) ගෘහස්ථ දුරකථන අන්තර්ජාල පහසුකම් මාරු කළ යුතු නම් ඊට අවශ්‍යව අදාල ආයතන දැනුවත් කරන්න. මක්නිසාද සමහර අවස්ථා වල මෙම මාරු කිරීම් වලට දින කිහිපයක් ගත වන්නට පුළුවන් නිසා. ඔබේ අළුත් නවාතැනට අදාලව විදුලිය , ජලය , ගෑස් සහ කසල බැහැරලීම් වලට අදාල ආයතන සමඟ අළුත් නවාතැනට ඔබේ නමින් ආරම්භ කළ යුතු ගිණුම් ආරම්භ කරන්න.
d. ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී අදාල පදිංචිය මාරු වීම පිළිබඳ දැනුම් දෙන්න. වෙනත් පළාතකට හෝ දැනට ඔබේ වෛද්‍යවාර්තා ලබා ගත නොහැකි ප්‍රදේශයකට නම් මාරුවන්නේ ඔබේ අත්‍යවශ්‍ය වෛද්‍ය වාර්තා පරික්ෂණ පිළිබඳ සටහනක් වෛද්‍යවරයා මගින් ලබා ගන්න. ඒ සඳහා ගෙවීමක් කිරීමට සිදුවන බව මතක තබා ගන්න. ඊළඟට ඔබේ ෆාමසිය මෙම වෙනස ගැන දැනුවත් කරන්න. ඔබේ නිවස වෙත ඖෂධ එවීමේ සේවාවක් ලබා ගනී නම් මෙය අනිවාර්යයනේම වැදගත් වේවි.
e. ඔබේ බැංකු ගිණූම් / ක්‍රෙඩිට් කාඩ් හෝ වෙනත් මුල්‍ය ආයතන වල ලිපිනය සහ ලිපි යොමු වීම් මාරු කරගන්න. විශේෂයෙන්ම පළාතකින් පළාතකට මාරු වේනම් ඔබ භාවිත කරන ක්‍රෙඩිට් කාඩ් පතට අදාල බැංකුව ඒ පිළිබඳ දැනුවත් කිරීම , අතරමගදි ඇතිවිය හැකි ගැටළු මගහරවා ගැනීමට උදව් වේවි. ( ඔබේ අදාල කාඩ් පත වෙනත් ප්‍රදේශයකදී “බැංකුවට සැකසහිත ආකාරයකට භාවිත කළොත්” , අදාල ගෙවීම තාවකාළිකය අක්‍රියවන අවස්ථා තිබෙන නිසා)
6. පනින හැටි හිතන්න.
a. මෙම මාරු වීම කරන්නට ඔබ සැලසුම් කරන ආකාරය තෝරා ගන්න. මේ සඳහා ඔබට අමතර ගෙවීමක් කර Moving companyක් හෝ කණ්ඩායමක් යොදා ගන්න හෝ තනිව ඔබටම කරගන්නටත් පුළුවන්. මූවින් කොම්පැණියක් මේ සඳහා යොදා ගන්නවා නම් අදාල ආයතන සමඟ සම්බන්ධ වී ගෙවිය යුතු “සියළු ගෙවීම්” ගැන ( පැය ගණනට , දුරට, බඩු එහා මෙහා ගෙනියන නිවසේ තට්ටු ගණනට , ) ලැබෙන ආරක්ෂාව ගැන රක්ෂණය ගැන දැනුවත්ව ගිවිසුම්ගත වන්න. මතක ඇතිව අර පුංචි අකුරු කියවන්න. මොකද මූවින් කොම්පැණි ගැන කැනඩාව ඇතුලේ විවිධ අත්දැකීම් තිබෙනවා.
b. ඔබ තනියම මේ කටයුත්ත කරගන්නට කැමැත්තේ නම් ඒ සඳහා අවශ්‍ය කරන වාහනය, ගබඩා කුලී පදනම මත ගන්නට පුළුවන් . විවිධ ආයතන තිබුණත් මම පුද්ගලිකව කැමතිම ආයතන U-Haul , මක්නිසාද එය අමෙරිකාව සහ කැනඩාව තුල ඕනම තැනකදි ලබා ගන්න පුළුවන් පහසුකමක්, අනෙක එම වාහන සහ ගබඩා වල ලබා දෙන පහසුකම් අනෙක් ඒවාට වඩා හොඳමට්ටමක තිබෙනවා. මෙම ක්‍රමය නම් තෝරාගන්නේ ඔබ දැනට ඉන්න නගරයේ අදාල නියෝජිතයා වෙත ගොස් ඔබට අවශ්‍ය කරන ට්‍රක් එක වෙන් කරගන්න පුළුවන් , එය අඩි දහයද විස්සද නැත්නම් ඊට වැඩි වෙන්න ඕනද කියන එක තීරණය වෙන්නේ ඔබ සතුව දැනට ඇති , අළුත් තැනට ගෙනයන බඩු ප්‍රමාණය අනුව. මේ සඳහා ඔබට කැනඩාව තුල පුර්ණ රියදුරු බලපත්‍රය තිබෙන්නට ඕන.
7. ගේ අස් කරගන්න.
a. දැන් සියල්ල සම්පුර්ණ නම් කරන්න තිබෙන්නේ ඔබේ බඩු මුට්ටු ගැලපෙන පිළිවෙලට අස්කර ගැනීම , ඒ සඳහා moving box ලෙස හැදින්වෙන කාඩ්බෝඩ් පෙට්ටි හෝ ළඟම තිබෙන වෙලඳ සැලකින් ඉල්ලා ගන්නා පෙට්ටි ප්‍රමාණවත් සංඛ්‍යාවක් සූදානම් කරගන්න එක වටිනවා. ( මේ කටයුත්ත ඔබ යම් ආයතනයක් මගින් කරගන්නවා නම් මේ ගැන ඔබට කළබල වෙන්න දෙයක් නැහැ , අදාල ආයතනයෙන් අවශ්‍ය කරන උපකරණ ලබා ගන්න පුළුවන්.)
b. දැනට තිවසේ තිබෙන , අළුත් තැනට ගෙනියා යුතුම දේ සූදානම් කරගත්තාට පසුව අවශ්‍ය නොවේ යැයි හැගෙන දේ, භාවිත කළ හැකි මට්ටමක තිබේනම් ප්‍රදේශයේ thrift store /Salvation Army / Goodwill වැනි ආයතනයකට පරිත්‍යාග කිරීම හෝ garage sale එකක් මගින් අඩුමුදලකට විකුණා දමන්නට පුළුවන්. මතක තබා ගත යුතු දේ ඔබ නගරයක නම් ඉන්නේ, ලංකාවේ වගේ කුණූ ගොඩවල් ගසා ගිණි තබන්නට යන්න එපා. අවසරයක් නැතිව එසේ කිරීම තුල ඔබ ගැටළුවලට මුහුණ දෙන්න පුළුවන්. දැන් ගෙනියන්නෙත් නැති, විකුනන්න හෝ පරිත්‍යාග කරන්නත් බැරි දේවල් තමන් ඉන්න නගරයේ / ගමේ transfer site (dumping site) එකට ගිහින් දාන්න. සමහර විට ඒ සඳහා සුළු ගෙවීමක් කරන්න වේවි.
8. පැක් කරගෙන යන්න.
a. නියමිත දිනයේ ඔබේ මිතුරන්ගේ සහය ඇතිව කුලී පදනම මත ගත් ට්‍රක් එකට සූදානම් කරගත බඩු ටික පිළීවෙලට අහුර ගන්න. බර බඩු ටික ලොරියේ ඉදිරියටමත් සැහැල්ලු , ඉක්මණින් ගත යුතු දේ පසුපසටත් අහුර ගන්න. මතක ඇතිව දෙදරීම්, වැටීම් වලක්වා ගැනීමට අවශ්‍ය බැදීම් (straps) උපකරණ භාවිත කරන්න. මක් නිසාද බොහෝ විට ඔබ මේ බඩු පටවා ගත් “ලොරිය” පැයට කිලෝමීටර එකසිය විස්සක වේගයෙන් පදවා ගෙන යනවා වෙන්න ඕන.(මේ මුල් වතාවට නම් අපඩි 20ක 30ක ට්‍රක් එකක් පදින්නේ , බඩු පැක් කරන්න ඉස්සර වෙලා ගම වටේ පොඩි රවුමක් දාල එන්න, හුරු වෙන්න.) එතනැදි අප නොහිතන දේවල් වෙන්න ඉඩ වැඩියි. විශේෂයෙන්ම අත්දැකීම් අඩු රියදුරෙක් නම් ඔබ වඩාත් ආරක්ෂාකාරී විය යුතුයි. ඒ ඔබේ ආරක්ෂාව වගේම ඔබ පදවාගෙන යන රථයේ ඇති ඔබේ බඩුමුට්ටු පිළිබඳවවත්. ( කුලී පදනම මත මෙම කටයුත්ත කරන්නේ නම් අදාල සේවකයින් බඩු පටවා ගත් පසු ඔබට ඔබේ වාහනයෙන් නව නිවස වෙත යන්න පුළුවන්.)
b. සියල්ල අවසානයේ හැකි නම් දැනට සිටි නිවසේ ( කුලි පදනම) හිමිකරුට නිවස පෙන්වා අදාල ලැබිය යුතු ඔබේ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න. මතක ඇතිව සියල්ල පිරිසිදු කළ නිවසේ ඡායාරූප ඇතුලත සහ පිටත ඡායාරූප කිහිපයක් දිනය වෙලාව සහිතව තබා ගන්නට අමතක කරන්න එපා.
c. ඔබ දුර පළාතකට නම් මාරුවන්නේ ඔබේ ගමන් මග පිළීබඳ මැප් එක දුරකථනයට ඩවුන්ලෝඩ් කරගන්න. (දැන් ඒතරම් GPS උපකරණ භාවිත නොවන නිසා) මකිනිසාද සමහර ප්‍රදේශ හරහා යත්දි ඔබට අන්තර්ජාල සම්බන්ධතාව නොමැතිව අතරමංවීමට පවා හැකි නිසා.
d. දැන් සිටින තැන ඉදන් හුඟක් ඈත ප්‍රදේශයකට නම් මාරු වෙන්නේ (අපි වගේ කිලෝමීටර් 3500ක් විතර) ක්‍රෙඩිට් කාඩ් තිබුණත් අතේ මුදලක් තබා ගන්න, කඩේ කෑම කන්න පුළුවන් වුනත් හදිස්සියට කන්න බොන්න අවශ්‍ය දේ තියා ගන්න. මොකද සමහර විට ඔබට කිලෝමීටර සියගණනක් යන්න වෙන්න පුළුවන් මිනිස් පුළුටක් දකින්න නැති.
e. මේ වගේ මූවින් ට්‍රක් වල උපරිම යන්න පුළුවන් තුන් දෙනාට විතරක් නිසා පවුලේ ඊට වඩා ඉන්නවා නම් ඔබේ වාහනයත් කෙනෙකුට පදවා ගෙන එන්න වේවි. එහෙම නොවේ නම් ට්‍රක් එකටම ඔබේ වාහනෙත් ඇදගෙන එන්න පුළුවන් පහසුකම ගත්ත නම් වැඩේ පහසුයි , ලාබයි.
9. ඔබේ අළුත් නවාතැනට එන්න,
a. ආ දවසේම සියල්ල එකළස් කරගන්න බැරිවේවි. හැකිනම් බඩුමුට්ටු ටික නිවසට හෝ ගබඩාවට දාගෙන , වාහනේ අළුත් පදිංචියට ආසන්නව තිබෙන නියෝජිතය ආයතනය වෙතට බාර දෙන්න.
b. විවේක ගනිමින් අළුත් නිවස, අළුත් තැනට ඔබේ උපකරණ, බඩු මුට්ටු එකළස් කරගන්න.
c. විවේක ගන්න. මේක ඇඟට විතරක් නොවෙයි , හිතටටත් ලොකු වෙහෙසක්.
10. අළුත් තැන හදාගන්න.
a. අළුත් නවාතැනට අදාලව ලැබියයුත පහසුකම් පිළිබඳ සොයා බලන්න, ජලය විදුලිය, ගෑස් කසල බැහැරලීම ඔබේ නමට අදාලට ගිණුම් ගතවේදැයි, ඊට අමතරව අන්තර්ජාල සහ දුරකථන පහසුකම් තවම සක්‍රිය කර නැත්නම් අදාල ආයතන සමඟ සම්බන්ධවී එම සේවා ලබා ගන්න.
b. ළඟම තියෙන රෙජිස්ට්‍රියට ගිහින් රියදුරු බලපත්‍රය, වාහන වල බලපත්‍ර, රක්ෂණ අළුත් තැනට මාරු කරගන්න. වෙනත් පළාතකට නම් ආවේ එම පළාතට අදාල සෞඛ්‍ය රක්ෂණය (හෙල්ත් කාර්ඩ් එක)ට ඉල්ලුම් කරන්න.
c. දරුවන් පාසලට ලියාපදිංචි කරගැනීමට කටයුතු කරන්න.
d. අමතක කරන්න එපා CRA(https://www.canada.ca/en/revenue-agency.html) වෙබ් අඩවියට ගිහින් ඔබේ ලිපිනය වෙනස් කරන්න. අනෙක මේ ගමනට ගිය වියදම් පිළීබඳ බිල්පත් ගෙවීම් විසි කරන්න එපා, ඊළඟ පාර ටැක්ස් එක හදත්දි වාසියක් ගන්න අවස්ථා තිබෙන්න පුළුවන්
e. මතක ඇතිව අළුත් වටපිටාවේ ඇවිදල , ඔබේ අසල්වැසියන් හඳුනාගන්නට, අළුත් තැන සමඟ බැදෙන්නට උත්සාහ කිරීම ආරම්භ කරන්න.කැනඩාවේ හරිම වැදගත් දෙයක් , ඉන්න කමියුනිටි එකේ කොටස්කාරයෙක් වෙන්න. එක ජන වර්ගයක් එක්ක විතරක් තනි වෙලා වෙන් වෙලා ඉන්න එපා. බහුසංස්කෘතියේ කොටස්කාරයෙක් වෙන්න.
f. ජීවිතේ “අළුත් අත්දැකීමක්” ආරම්භ කරන්න.
අපි මේ වෙත්දි කිලෝමීටර පන්දාහකට වඩා එහා මෙහා මාරු වෙලා , පළාත් හතරක , නගර ගණනාවකට මාරු වීම් වෙලා “මාරුවීමේ විශේෂඥ උපාධිය” ගත්ත කෙනෙක් හැටියට ලබාගත් අත්දැකීම් ඔස්සේයි මේ ලිපිය ලියවුනේ. මටත් මගහැරෙන්න දේ ඇති. අහුවුනොත් ආයෙත් එකතු කරන්නම්. නැත්නම් ප්‍රශ්නයක් ඇහැව්වොත් දන්න දේ බෙදා දෙන්නම්.මගේ මාරුවීම් සහ ලබපු අත්දැකීම් ගැන ලිපි කිහිපයක් යුනිට්ස් වල තිබෙන නිසා (එකක් “අභියෝග විඳින්න එන්න” ලිපිය අනෙක් ලිපියට මෙන්න ලිංක් එක https://www.nursinglk.com/2016/01/pre-mortem.html) නැවත ඒව මෙතැනට එකතු කරන්න යන්නේ නැහැ. කැමති නම් හොයාගෙන කියවන්න.
GIPHY App Key not set. Please check settings