කැනඩාවට අලුතෙන් එන්න ඉන්න ලංකාවේ අපේ යාළුවො වෙනුවෙන් කැනඩාවට එන විදිහ ගැන සහ කැනඩාවට ආවට පස්සේ ඔයාල කරන්න ඕනේ දේවල් ගැන ලිපි කිහිපයක්ම මීට කලින් අරගෙන ආවා. ඉතින් ඒ ලිපි මාලාවේ තවත් ලිපියක් තමයි මේ. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශේෂයෙන්ම අලුතෙන් කැනඩාවට එන කෙනෙක්ට ගොඩක් වටින කැනඩාවේ බැංකු ගිණුමක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.
ඉතින් කැනඩාවට එන හැමකෙනෙක්ටම අනිවාර්යෙන්ම මෙහෙ බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා. මොකද ඔයාල රැකියාවක් කරද්දී පඩිය වැටෙන්නේ ඔයා විසින් ලබා දෙන බැංකු ගිණුමට. ඒ වගේම එදිනෙදා ගනුදෙනු කරන්න ඉතින් කොහොමත් අනිවාර්යෙන්ම ඔයාට බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.
කැනඩාවේ තියෙන බැංකු
කැනඩාවේ බැංකු වලින් TD Bank, BOM, CIBC, ScotiaBank, RBC වගේ බැංකු තමයි ගොඩක් ජනප්‍රියම. ඉතින් මීට අමතරව තවත් බැංකු තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට කැනඩාවට අලුතෙන් එන හැමෝම වගේ බැංකු ගිණුමක් ආරම්භ කරන්නේ උඩ කියපු බැංකු වලින් එකක තමයි. මේවා අතරින් හොඳම බැංකුව මේකයි කියලා අපි කියන්න බැහැ. ඔයාට ගැලපෙන්නේ මොන බැංකුවද කියලා මේවාගේ ලබාදෙන පහසුකම් සේවාවන් වගේ දේවල් ගැන පොඩි research එකක් කරලා තෝරාගන්න එක තමයි හොඳම දේ. ඔයා ඉගෙනගන්න කැනඩාවට එන කෙනෙක් නම් මේ බැංකු හැම එකේම වගේ Student බෑන්ක් එකවුන්ට් පහසුකමක් තියෙනවා. ඒත් එක්කම තව මොන මොන පහසුකම්ද ලැබෙන්නේ කියලා බැංකුවේ නිල වෙබ් අඩවියට ගිහින් ඔයාලටම බලන්න පුළුවන්.

Chequing ද Savings ද
ලංකාවේදී නම් ඉතින් අපි හැමෝටම වගේ එදිනෙදා පවිච්චියටයි ඉතුරු කරන්නයි ඔක්කොටම තියෙන්නේ Savings account එහෙමත් නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක්. ඉතින් කැනඩාවේදී බැංකු ගිණුමක් හදද්දී ඔයාගේ අවශ්‍යතාවය අනුව ගිණුමේ වර්ගය වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙහෙ Chequing සහ Savings කියලා ගිණුම් වර්ග දෙකක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය එදිනෙද පාවිච්චියට, නිතරම ගනුදෙනු කරන්න බැංකු ගිණුමක් ආරම්භ කරන්න නම් ඔයා ආරම්භ කරන්න ඕනේ Chequing එකවුන්ට් එකක්. මේකෙදි ඔයාට ඕනෑම වෙලාවක ගිණුමේ මුදල් වලට මොනවද කරන්නේ කියලා තීරණය කරන්න සම්පුර්ණ නිදහස ඔයාට හිමි වෙනවා. ඒ කියන්නේ ගිණුමෙන් සල්ලි ගන්න, බිල් ගෙවන්න, තවත් ගිණුමකට මුදල් යවන්න යවන්න, චෙක්පත් වලින් ගනුදෙනු කරන්න, භාණ්ඩ හා සේවාවන් වලට ගෙවන්න වගේ එදිනෙදා වැඩ පහසුවෙන් කරගන්න පුළුවන්. හැබැයි Chequing එකවුන්ට් එකකට ගොඩක් වෙලාවට පොලියක් එකතු වෙන්නේ නැහැ. එකතු උනත් ඉතාම සුළු අනුපාතයක් තමයි පොලිය විදිහට ලැබෙන්නේ. ඊට අමතරව Chequing එකවුන්ට් එකක් පවත්වාගෙන යන්න මාසික ගාස්තුවක් බැංකුවෙන් අය කරනවා. හැබැයි ඔයා Student කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ මාසික ගාස්තුව ගොඩක් බැංකු වලින් අය කරන්නේ නැහැ.
හැබැයි ඔයාගේ අරමුණ සල්ලි ඉතුරු කරන්න නම් ඔයාට savings එකවුන්ට් එකක් අවශ්‍ය වෙනවා. Savings ගිනුමක ඔයාට අවශ්‍ය විදිහට නිතරම ගණුදෙනු කරන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය අවශ්‍ය වෙලාවට මුදල් ගන්නත් බැහැ. Chequing වල මාසික ගාස්තුවක් savings එකක් පවත්වාගෙන යන්න ගෙවන්න අවශ්‍ය නැති උනත් ඔයා බැංකුවෙන් කියන අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැති උනොත් අමතර ගාස්තුවක් ගෙවන්න ඔයාට සිදු වෙනවා. හැබැයි විශේෂත්වය තමයි මේ ගිණුම් වලට පොලියක් එකතු වෙනවා. මොකද මේක ඉතිරි කිරීමේ ගිණුමක් නේ. හැබැයි ඉතින් ලංකාවේ වගේ හැම මාසෙම පොලියෙන් ජිවත් වෙන්න තරම් විශාල පොලියක් නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද කැනඩාව කියන්නේ එහෙම ලොකුවට පොලි අනුපාත ගෙවන රටක් නෙවෙයි.

බැංකු ගිණුමක් විවෘත කරන්න අවශ්‍ය කරන ලියකියවිලි
බැංකුවක් තෝරගත්තට පස්සේ ඔයා ඒ බැංකුවට ගිහින් බැංකු නිලධාරියෙක් හමුවෙලා අලුතෙන් බැංකු ගිණුමක් විවෘත කරන්න ඕනේ කියලා කිව්වම එයාල ඔයාගෙන් මුලින්ම අනන්‍යතාවය තහවුරු කරන්න කියලා ඉල්ලනවා. මෙතැනදී ඔයා ඔයාගේ පාස්පෝට් එක තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාට කැනඩාවේ SIN අංකය අවශ්‍ය වෙනවා. ඔයාට SIN නම්බර් එකක් නැතනම් බැංකුවට යන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ SIN අංකය ලබාගෙන යන්න. ඊට පස්සේ ඔයා Student කෙනෙක් නම් ඔයාගේ Study permit එකත් ඔයා රැකියාවකට ආව කෙනෙක් නම් Work permit එකත් ඉදිරිපත් කරන්න ඕනේ.
ඔය විදිහට තමයි කැනඩාවට අලුතෙන්ම ආවට පස්සේ බැංකු ගිණුමක් විවෘත කරගන්නේ. හරිම ලේසි සහ පොඩි වැඩක්. අලුතෙන්ම බැංකු ගිණුමක් විවෘත කරද්දී ගොඩක් බැංකු වලින් ඔයාලට විශේෂ දීමනා වගේ දේවල් එහෙමත් දෙනවා. උදාහරණයකට සමහර බැංකු වලින් සමහර කාල වලට අලුතෙන්ම හදන බැංකු ගිණුම් වලට පොඩි මුදලක් බැංකුවෙන්ම දාල දෙනවා. එහෙමත් නැත්නම් අවුරුද්දක් යනකල් නොමිලේ ගිණුම පවත්වාගෙන යන්න අවස්තාව ලැබෙනවා ඒ වගේම ගොඩක් වෙලාවට ඔයා Student කෙනෙක් නම් ඔයාගේ අලුත් බැංකු ගිණුමත් එක්කම Credit කාඩ් එකක් එහෙමත් ලබගාගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් එක තීරණය වෙන්නේ ඔයා තෝරාගන්න බැංකුව අනුව තමයි. ඒ නිසා බැංකුවක් තොරගද්දී පොඩ්ඩක් මේ වගේ නොමිලේ ලබාගන්න පුළුවන් අමතර වාසි මොනවද කියලත් හොයලා බලලාම බැංකුවක් තෝරාගන්න අමතක කරන්න එපා.
ඔයා අලුතෙන් කැනඩාවට එන්න ලැස්ති වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ඔයාට වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේක වගේම අපි මීට කලින් දාපු කැනඩාවේදී වාහනයක් ගන්න විදිහ කැනඩාවේදී රියදුරු බලපත්‍රය ලබාගන්න විදිහ වගේ දේවල් සම්බන්ධව පල කරලා තියෙන ලිපිත් කියවන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා Student විදිහට එන්න ඉන්න කෙනෙක් නම් අපි ඒ ගැනත් ගොඩක් ලිපි පල කරලා තියෙනවා ඒවත් කියවන්න කියලා ආරාධනා කරනවා.
GIPHY App Key not set. Please check settings