කැනඩාවට එන්න ඉන්න ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි කැනඩාවේ සෞඛ්‍ය සේවය මොන වගේද කියන එක. කැනඩාවේදී සෞඛ්‍ය සේවා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න වෙනවාද? වීසා එක අනුව කැනඩාවේ සෞඛ්‍ය පහසුකම් ලැබෙන විදිහේ වෙනස්කම් තියෙනවද වගේ ගොඩක් ප්‍රශ්න ඔයාලටත් අනිවාර්යෙන්ම මේ වෙද්දී ඇති. ඉතින් මේ ලිපියෙන් අපි අද කතා කරන්නේ කැනඩාවේ සෞඛ්‍ය සේවයේ විස්තර. මේ ලිපිය කියවලා ඔයාලට දැනට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
කැනඩාවේ තිබෙන්නේ මහජනතාවගේ බදු මගින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවක්. ඒ කියන්නේ සේවා ලබා ගැනීම වෙනුවෙන් “සෞඛ්‍ය ගාස්තුවක්” ගෙවීමට අවශ්‍ය නොවුනත්, බදු ඔස්සේ එම ගෙවීම් කරනවා. තව විදියකින් කිව්වොත් එක්තරා විදියක නිදහස් සෞඛ්‍ය සේවාවක්( සියල්ල නොමිලේ නැතත්) . ඒ වගේම එහි මූලික හිමිකම ලැබෙන්නේ කැනඩා පුරවැසි, ස්ථීර පදිංචි , තාවකාළීක බලපත්‍ර හිමි සමහර කණ්ඩායම් වලට පමණයි. එම නිසා, ඔබ කැනඩාව තුල රැදෙන ක්‍රමය සහ ඊට අදාලව ලැබෙන සෞඛ්‍යාවරණය කුමක්දැයි හඳුනාගැනීම හරිම වැදගත්. හේතුව, පෙර කී කණ්ඩායම් වලට නොමිලේ සේවාව ලැබුණත්, එම සේවා සඳහා කරන අය කිරීම ඉතා ඉහළයි. එම නිසා, පළාත් සෞඛ්‍ය රක්ෂණාවරණය නොලැබෙන තත්ත්වකදී නම් පෞද්ගලික සෞඛ්‍යය රක්ෂණාවරණයක් තිබීම හරිම වැදගත්.(පළාත් සෞඛ්‍යය තිබුණත් , අමතර පෞද්ගලික රක්ෂණාවරණයක් තිබීම වාසි වන අවස්ථා ඇත)
හදිසි ප්‍රතිකාර, රෝහල් ගතවීම්, දරුවන් සඳහා ප්‍රතිකාර වැනි සාමාන්‍යයෙන් බහුලවය අවශ්‍ය විය හැකි සහ ජීවිත ආරක්ෂා කරගැනීමට අත්‍යවශ්‍යම සේවා පෙර කී කණ්ඩායම් වෙත ලැබුණත්, දන්ත සෞඛ්‍ය සේවාව,රෑපලාවන්‍ය ප්‍රතිකාර,ගිලන්රථ කැඳවීම්, වගේ සමහර සේවා සඳහා ගාස්තු ගෙවීමක් කරන්නට වෙන්නට පුළුවන්.
කැනඩාව තුල ,ලංකාවේ මෙන් පෞද්ගලික විශේෂඥ වෛද්‍ය සේවා පවත්වන්නේ නැහැ. පෞද්ගලික සායන තිබුණත් , ඒවා ක්‍රියාත්මක වන්නේ පළාත් සෞඛ්‍ය සේවාව සමඟ සම්බන්ධවීමෙන්. එම නිසා, පෙර කී පහසුකම් , පෞද්ගලික සායනයකින් ලබා ගත්තත් ගෙවීම් සිදුවන්නේ අදාල රක්ෂණාවරණය හරහා. (සමහර සේවා සඳහ ගෙවීම් කිරීමට සිදුවිය හැක)
පෙර හේතුව නිසාම සහ මෙහි සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ ක්‍රමවේදයක් ඇති නිසා, අපට අවශ්‍ය මෙහොතේම එම සේවාව ලබා ගැනීමට නොහැකි වන්නට පුළුවන්. සියළු සේවා සඳහා පවුලේ වෛද්‍යවරයෙක් ඔස්සේ යමින් පවත්වාගත යුතු මධ්‍යගත සෞඛ්‍ය තොරතුරු රැස් කිරීමක් සිදුවන නිසා, පවුලේ වෛද්‍යවරයා හමුවීමට, විශේෂඥ වෛද්‍යවරයා වෙත , පවුලේ වෛද්‍යවරයා විසින් කරන යොමු කිරීමකදී, සමහර පරික්ෂණ සදහා යම් කාලයක් ගත වීම, ඔබට පහසු කාළ වේලාවක්ම නොලැබීම හෝ පොරොත්තු ලේඛණයක රැඳී සිටීමට සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් ජීවිත අවදානම් තත්ත්වයක් හෝ අවදානම වැඩි අවස්ථාවකට නම් එම අවදානම් තත්ත්වයට අනුකූලව ප්‍රමූඛත්වය ලබා දීම සිදුකෙරෙනවා. මෙම තත්ත්වය අපේ රටේ සිට එන සමහරුන්ට නුහුරු වන්නේ, සෞඛ්‍ය සේවාව තුල ඇති මෙම අවදානම් ප්‍රමුඛත්ව ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් නැතිවීමයි.මේ ඔස්සේම, ජීවිත අවදානම් තත්ත්වයකදී, අදාල පළාත තුලින් එම හදිසි ප්‍රතිකාරය ලබා දිය නොහැකි අවස්ථාවකදී, එම පහසුකම ලබා දීමට අවස්ථාව තිබෙන වෙනත් පළාතකින් අදාල සෞඛ්‍ය සේවාව ලබා දෙන අතර, ඒ සඳහා සිදුවන ගුවන් වියදම්, ප්‍රතිකාර වියදම් සියල්ල පළාත් රජය විසින් දරනවා.
කැනඩාව තුල පෙර කී යම් මධ්‍යගත තොරතුරු රැස්වන ක්‍රමවේදයක් ඇති නිසා, ලංකාවේ මෙන් අපට ඕනෑ ආකාරය ඇන්ටිබයෝටික් ලියවා ගැනීම හෝ පරික්ෂණ සිදු කරවා ගැනීම කරන්නට බැහැ. යම් ඖෂධයක් නියම කරන්නේ, එය “අවශ්‍යම” අවස්ථාවක් යැයි තහවුරු වුනොත් පමණයි, පරික්ෂණද එසේමැයි. එමෙන්ම අපට සිදුවන හදිසි රෝගී තත්ත්වයකට රෝහල් ගත වුනත්, අපේ හදිස්සිය “ජීවිත අවදානම් ප්‍රමුඛත්වය” අනුව වෙනත් අවදානම් අයෙක්ට වඩා පහල නම්, ප්‍රතිකාරය යම් තරමක ප්‍රමාද වීමක් වන්නේ , ප්‍රමුඛත්වය වැඩි පුද්ගලයාට පළමුව ප්‍රතිකාර ලබා දීම සිදුවිය යුතු නිසා.
ඔබ කැනඩාවේ සෞඛ්‍යය සේවය තුලම රැකියාව කළත් , රෝහල් ගත වීමකදී “විශේෂත්වයක්” ලබා දීමක් සිදුවන්නේ නැහැ, එම තත්ත්වයත් අපේ සමහරුනට තරමක් නුහුරු විය හැකියි. කැනඩාව තුල ඔබ කවුරුන් වුවත් සම තැනක පිහිටා කටයුතු කරන රටක්.
මෙන්න මේ කී කරුණූ ඔස්සේ ඔබට කැනඩානු සෞඛ්‍ය සේවය ගැන අදහසක් ගන්න පුළුවන් නම් ලෝකයේ ඉහළ මට්ටමේ සෞඛ්‍යය සේවාවක් කැනඩාව තුලදී ලබා ගන්නට ඔබට පහසුකම් තිබෙනවා. නමුත්, මෙම ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අදහසක් නැති අයෙක්ට “ලංකාවේ මීට වඩා ලේසියි” කියන හැඟීම එන්නට පුළුවන්. වැදගත් වන්නේ ලැබෙන ප්‍රතිකාරයේ තත්ත්වයයි, ඒ ලබා දෙන සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ලැබෙන සේවාවේ තත්ත්වයයි, රෝගියෙක්, ප්‍රතිකාර ලබන්නෙක් ලෙසට ලැබෙන මානුෂීය ගෞරවය සහිත පිළිගැනීමයි, තම සෞඛ්‍ය තොරතුරු, ගම පුරා, රට පුරා , නෑදෑයන් වෙත නොයන රෝගියාගේ සෞඛ්‍ය තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් නීතිමය මට්ටමින්ම තිබෙන ආරක්ෂාවයි. මේ සියල්ල තුල, කැනඩාව තුලදී ඉතා හොඳ (ලෝකයේ හොඳම සේවාව යැයි කියන්නේ නැහැ) සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නට අවස්ථාවක් තිබෙනවා.
නැවත වතාවක් අංක 1 කරුණූට, මේ සියළු සේවා වල යම් එහා මෙහා වීමක් ඔබ පදිංචි වන පළාත, නගරය , ප්‍රදේශය අනුව වන්නට පුළුවන්. ඒ වෙනස්වීම තුල ප්‍රධානම සාධකය “කාළයයි” . එම නිසා, ඔබ පදිංචිවන ප්‍රදේශය නිවැරදිව තෝරා ගැනීම සහ පදිංචිවූ පසු ඔබේ පවුලට සේවාව ලබා ගැනීමට සඳහා පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී විමසිලිමත් වීම හරිම වැදගත්.
කැනඩාවේ සෞඛ්‍ය සේවාව ගැන පොදුවේ දැනගත යුතු කරුණු මේ ප්‍රමාණවත් කියල හිතනවා, නමුත් ඔබ එන්නට අපේකෂා කරන පළාතේ, පළාත් සෞඛ්‍ය සේවාවේ වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගෙන පැමිණීම ඔබට පහසුවක් වගේම අවදානම් වලට ලක්වීමත් සීමා කරාවි. ඒ ඔස්සේම ඔබ පදිංචි වන්නට තෝරා ගත් ප්‍රදේශයේ පවුලේ වෛද්‍යවරයෙක් ගැන යම් අදහසක් සහ අදාල රේටිංස් ගැන හඳුනාගැනීමක් සහිතව පැමිණීමත් වාසියක් වේවි.
Original Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group
GIPHY App Key not set. Please check settings