in ,

කැනඩාවට ඇවිත් ඉක්මනින්ම Driver’s license එක ගමු.

කැනඩාව කියන්නේ ලෝකයේ තියෙන කාර්යක්ෂමම පොදු ප්‍රවාහන සේවයක් තියෙන රටක් උනත් මෙහෙ ඉන්න හැම කෙනෙක්ටම වගේ පුද්ගලික වාහනයක් තියෙනවා. මොක ශීත කාලේදී හිම වැටෙද්දී එහෙම ඉතින් තමන්ගේ වැඩකටයුතු කරගන්න වාහනයක් නැතුවම බැහැ. ඒ වගේම කැනඩාවේ වාහන වල මිල ගණන් සාපේක්ෂව අඩු නිසා ලංකාවේ ඉඳන් කැනඩාවට එන්න ඉන්න ඕනෑම කෙනෙක් හීන දකින දෙයක් තමයි කැනඩාවේදී හොඳ වාහනයක් පදින එක. ඉතින් මේ දේ කරගන්න නම් අනිවාර්යෙන්ම ඔයාට කැනේඩියානු රියදුරු බලපත්‍රයක්, ඒ කියන්නේ ඩ්‍රයිවින් ලයිසන් අවශ්‍ය වෙනවා. මොකද ඔයාට ඩ්‍රයිවින් ලයිසන් එකක් නැත්නම් කැනඩාවේදී වාහන පදවන්න විතරක් නෙවෙයි වාහනයක් මිලදීගන්නවත් අවස්ථාව හිමි වෙන්නේ නැහැ.
ලංකාවේ වගේ නෙවෙයි කැනඩාවේ ලයිසන් ගන්න එක පියවරෙන් පියවර කරගන්න ඕනේ වැඩක්. ඒ වගේම තමයි ලයිසන් ගන්න ක්‍රියාවලියේ පළාතෙන් පළාතට පොඩි පොඩි වෙනස්කම් තිබුනත් ගොඩක් දුරට සමාන නිසා ඔයා මොන පළාතට යන්න ඉන්න කෙනෙක් උනත් මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා.

කැනඩාවට එද්දී අනිවාර්යෙන්ම ලංකාවේ ලයිසන් අරන් එන්න.

ඔයාට දැනටමත් ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එක තියෙන කෙනෙක් නම් මේක අදාළ වෙන් නැහැ. ඒත් ඔයා ලඟදි එන්න ඉන්න කෙනෙක් නම් හරි එන්න සැලසුම් කරමින් ඉන්න කෙනෙක් නම් දැනට ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එක නැත්නම් අනිවාර්යෙන්ම ලයිසන් එක ලබාගන්න අමතක කරන්න එපා. මොකද ඔයාට ලංකාවේ වලංගු ලයිසන් එකක් තියෙන එක මෙහෙට ඇවිත් ලයිසන් එක ගන්නකොට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ලංකාවේ ලයිසන් එක පරණ වෙන තරමට ඔයාට වාසි වැඩියි.
ලංකාවෙන් එද්දී Licence එකට අමතරව International Driving Permit එකත් අරගෙන එන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කොළඹ 03 පිහිටලා තියෙන AA Ceylon කියන රජයේ අනුබද්ධ ආයතනයෙන් ඔයාට මේ International Driving Permit එක පොඩි මුදලක් ගෙවල ලබාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ International Driving Permit එක අරගෙන එනවා නම් ඒකෙන් කැනඩාවේ තියෙන ගොඩක් ප්‍රාන්ත වල මාස 2-3 ක කාලයක ඉඳල මස 6ක් හෝ සමහර ප්‍රාන්ත වල අවුරුද්දක කාලයක් දක්වාත් ඔයා Student කෙනෙක් නම් කැනඩාව තුල ඉගෙනගන්න සම්පුර්ණ කාලය පුරාවටමත් වාහන පදවන්න අවස්ථාව ඔයාට ලැබෙනව.
AA Ceylon ආයතනයේ වෙබ් අඩවිය – https://aaceylon.lk/services/idp/
ඒ වගේම ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවින් Experience ඔප්පු කරන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් (RMV) ලබා දෙන Driver Imformation Extract එක අරගෙන විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරගන්න. මේක ඔයාට කැනඩා ලයිසන් එක ගන්න ක්‍රියාවලිය වේගවත් කරගන්න ගොඩක් උපකාරී වෙනවා. රුපියල් 500ක වගේ පොඩි මුදලක් තමයි මේ සඳහා ඔයාට වැය වෙන්නේ.

අවශ්‍ය කරන ලියකියවිලි.

කලින් කිව්වා වගේ ඔයාගේ මේකට ලංකාවේ වලංගු ලයිසන් එක, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික කරන ලද Driver Information Extract එක වලංගු International Driving Permit එක සහ ඔයාගේ පාස්පෝට් එක තමයි අවශ්‍ය වෙන්නේ.

කැනඩාවේ තියෙන ලයිසන් වර්ග සහ ඒවගේ තියෙන සීමාවන්.

ලිපියේ මුලදීම කිව්වා වගේ කැනඩාවේ ලයිසන් ගන්න එක පියවරෙන් පියවර කරන්න ඕනේ වැඩක්. මොකද මෙහෙ තියෙන්නේ Graduated Driver Licensing කියලා ක්‍රමයක්. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ ලයිසන් වර්ග වලට කියන නම් වෙනස් වෙනවා. හැබැයි මේ හැම එකකම පොදු ලක්ෂණයක් තමයි ඔයා සම්පුර්ණ ලයිසන් එක ගන්න කලින් විවිධ සීමාවන්ට යටත් උන ලයිසන් වලින් යම් යම් කාලසීමාවක් රිය පදවල තියෙන්න ඕනේ. කොහොම උනත් ඔයාට ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශය විසින් සහතික කරපු Driver Information Extract එකකින් සහ ඔයාගේ ලංකාවේ ලයිසන් එක ඉදිරිපත් කරලා ඔයාගේ පෙර අත්දැකීම් අනුව මේ කාලසීමාවන් සහ කොන්දේසි අඩු කරගන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාගේ අත්දැකීම් දීර්ඝ කාලයක් තියෙනවා නම් කෙලින්ම සම්පුර්ණ කැනේඩියානු රියදුරු බලපත්‍රය ලබාගන්න අවස්ථාව හිමි වෙන්න පුළුවන්.

සමත් විය යුතු පරීක්ෂණ.

ලංකාවේ වගේම තමයි කැනඩාවේ ලයිසන් ගද්දීත් ඔයා අනිවාර්යෙන්ම පරීක්ෂණ කිහිපයකට මුහුණ දීල ඒවගෙන් සමත් වෙන්න ඕනේ. ඔයා ඉන්න ප්‍රදේශයේ තියෙන Drive Test Center එකකට ගිහින් ඔයාට අදාළ ලියකියවිලි ලබාදීලා මේ පරීක්ෂණ වලට දින ලබාගන්න පුළුවන්. මේකෙදි ප්‍රධාන වශයෙන්ම ඔයා Vision ටෙස්ට් එකක් ඒ කියන්නේ ඔයාගේ ඇස් පෙනීම තහවුරු කරන්න පරීක්ෂණයකට පෙනී ඉන්න ඕනේ. ඊට පස්සේ Knowledge ටෙස්ට් එකක් ඒ කියන්නේ ඔයාගේ මාර්ග නීති සහ මාර්ග සංඥා ගැන තියෙන දැනුම පරික්ෂා කරන පොඩි එක්සෑම් එකකට මුහුණ දෙන්න ඕනේ. ලංකාවේ තියෙන L පර්මිට් එක ගන්න කලින් ලියන ලිඛිත පරීක්ෂණය වගේම තමයි. ඊට පස්සේ ඔයාගේ රියදුරු හැකියාව සහතික කරගන්න driving ටෙස්ට් එකකට හෝ දෙකකට මුහුණ දෙන්න ඕනේ.
Knowledge Test එක ගැන කියනව නම් ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන්ම මාර්ග නීතිරීති සහ මාර්ග සංඥා පිලිබඳව තියෙන දැනුම තමයි පරික්ෂා කරන්නේ. මේක ඉතින් සමත් වෙන්න අමාරු පරීක්ෂණයක් නෙවෙයි මොකද ඉතින් මාර්ග සංඥා සහ නීති ලෝකේ කොහෙත් ගොඩක් දුරට එක වගේ උනත් කැනඩාවේ සමහරවිට ඔයා නොදන්නා මාර්ග සංඥා තියෙන්න පුළුවන් . මේ නිසා මේ පරීක්ෂණයට මුහුණ දෙන්න කලින් ඔයාගේ ප්‍රාන්තයට අනුව ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ගැන අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයල බලල සුදානම් වෙන එක වඩාත් හොඳයි.
Driving ටෙස්ට් එකේදී බලන දේවල් ඔයාගේ Licence type එක අනුව වෙනස් වෙන්න පුළුවන්. කොහොම උනත් මෙතැනදී ඔයා සාමන්‍ය පාරක වාහනය පදවන විදිහ, Park කරන විදිහ, රිවර්ස් කරන විදිහ, හයිවේ එකේ යද්දී වාහනය පදවන විදිහ වගේ දේවල් තමයි පරික්ෂා කරන්නේ. කාලයක් ඉඳල වාහන පදවල පළපුරුදු කෙනෙක්ට නම් ඉතින් මේ දේවල් අලුත් දේවල් නෙවෙයිනේ ඒ නිසා මේකටත් බය වෙන්න දෙයක් නෑ.

වියදම කොහොම වෙයිද?

අනිත් ගොඩක් දේවල් වගේ ලයිසන් එක ගන්න යන වියදමත් හරියටම මෙච්චරයි කියලා කියන්න බැහැ. මොකද මේකට යන වියදමත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. ඉතින් ඔයාට මේ ගැන දැනගන්න ඕනේ නම් ඔයාගේ ප්‍රාන්තයට අදාළ වෙබ් අඩවියෙන් ලේසියෙන්ම කොච්චර වගේ මුදලක් යයිද කියලා බලාගන්න පුළුවන්.

ලයිසන් ගත්තට පස්සේ දැනගන්න ඕනේ දේවල්.

ඇත්තටම කැනඩාවේ වාහන පදවනවා කියන්නේ ඉතාම වගකීමකින් යුතුව විනයගරුවකව හා නීතිගරුකව කරන්න ඕනේ වැඩක්. ලයිසන් එකක් තිබ්බ පමණින් ඔයාට වාහනයක් පදවන්න බෑ. ලයිසන් ගත්තට පස්සේ වාහනයක් පදින්න නම් ඔය අනිවාර්යෙන්ම ඔයාගේ නම රථවාහන රක්ෂණයක් ලබාගන්න ඕනේ.
හොඳට මතක තියාගන්න කැනඩාව කියන්නේ මාර්ග නීති අකුරටම පිළිපදින සහ ක්‍රියාත්මක කරන රටක්. මේ නිසා කැනඩාවේ ලයිසන් ගත්තට පස්සේ ඔය අනිවාර්යෙන්ම මේ දේවල් අකුරටම පිළිපදින්න ඕනේ. විශේෂයෙන්ම වාහනයක් පදවද්දී වේග සීමා ගැන ලොකු අවධානයක් ලබා දෙන්න ඕනේ. හදිස්සියේ හරි ඔයා මේ වේග සීමා ඉක්මවල ගියොත් විශාල දඩ මුදලකට යටත් වෙන්න සිදු වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ ඉන්ෂුරන්ස් එකේ ගාන වඩා වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා.
ලංකාවේ වගේ නෙවෙයි කැනඩාවේ වාහනයක ගමන් කරද්දී වාහනයේ ඉන්න සියලු දෙනාම අනිවාර්යෙන්ම සීට් බෙල්ට් පළඳින්න ඕනේ. ඒ වගේම වාහනයේ තියෙන සීට් බෙල්ට් ගණනට වඩා පිරිසක් වාහනයේ ගමන් කරන්නත් තහනම්. වාහනයේ ඉන්න සියලු දෙනාටම සීට් බෙල් දාගන්න කියලා මතක් කරන එක රියදුරෙක් විදිහට ඔයාගේ වගකීමක් වෙනවා.
ඒ වගේම වාහනය පදවද්දී ජංගම දුරකථනය අතේ තබාගෙන භාවිතා කරන්නත් තහනම්.

බීල වාහන පදවලා අහු වෙන්න එපා Sorry තමයි.

ලංකාවේදී නම් ඉතින් ඇල්කොහොල් භාවිතා කරල වාහනයක් පදවනව කියන්නේ සමහරු එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. මොකද ඉතින් පොලිසියෙන් නැවැත්තුවත් මොකක් හරි කියලා ශේප් කරගෙන යන්න පුළුවන් කියලා හිතන නිසා. හැබැයි කැනඩාව කියන්නේ එහෙම කරන්න පුළුවන් රටක් නෙවෙයි. මෙහෙ වාහනයක් පදවනකොට අනිවාර්යෙන්ම ඇල්කොහොල් මට්ටම 0 තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් බීල ඉන්න බෑ. හදිස්සියේ හරි ඔයා මේ විදිහට ඇල්කොහොල් භාවිතා කරලා වාහනයක් පදවලා අහු උනොත් ඔයා Student Visa වගේ තාවකාලික වීසා බලපත්‍රයකින් කැනඩාවේ ඉන්න කෙනෙක් නම් සමහරවිට ඔයාගේ වීස එක කැන්සල් කරලා ආපහු ලංකාවට යවන්න උනත් පුළුවන්. ඒ වගේම බීමත්ව රිය පැදවීම කියන්නේ ඔයාගේ වාර්තා වලට Crminal record එකක් එකතු වෙන්න වගේම ලයිසන් එක අවලංගු වෙන්න හෝ සමහවිට සිරගත වෙන්න සිදු වෙන තරම් බරපතල වැරද්දක්.

ඒ වගේම තමයි ලංකාවේ වගේ පාර ඔයාගේ කියලා හිතාගෙන වාහන පදවන්නත් කැනඩාවේදී බැහැ. මෙහෙ වාහන පදවනකොට ඔය අනිවාර්යෙන්ම ඇම්බියුලන්ස් ගිනි නිවන රථ වගේ හදිසි සේවා වාහන වලට වගේම පදිකයන්ට සහ පාපැදිකරුවන්ට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න කැනඩාවේ නීති රීති ඉතාම තදයි. ඔයා වැරද්දක් කරොත් ඔයා කවුරු උනත් කිසිම ගැලවීමක් නැහැ. අනිවාර්යෙන්ම දඬුවම් විඳින්න සිදු වෙනවා. ඒ වගේම කැනඩාවේ දඩ මුදල් එහෙමත් ඉතාම විශාලයි. ඒ නිසා හැමතිස්සෙම නීති ගරුක වෙන්න. විනයගරුකව වාහන පදවන්න. ඒකෙන් ඔයගේ සහ අනිත් අයගේ ජිවිත ආරක්ෂා වෙනවා වගේම නීතිමය ගැටළු වලට පැටලෙන්නේ නැතුව ඉන්නත් පුළුවන් වෙනව.

ඔයාලත් ලඟදි කැනඩාවට එන්න ඉන්නවා නම් හෝ කවද හරි කැනඩාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ නම් ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා. මේ වගේම අපි කැනඩාව ගැන වගේම කැනඩාවට එන එක ගැනත් තව ලිපි ගොඩක් පල කරලා තියෙනවා ඒවත් කියවන්න අමතක කරන්න එපා.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කැනඩාවට ඇවිත් ලේසියෙන්ම බැංකු ගිණුමක් ආරම්භ කරමු .

කැනඩාවට ඇවිත් වාහනයක් ගමු.